Sunday, November 25, 2012

රේඩියෝ කතාවක්... - පට්ට ක්‍රියේටිව් නිවේදකයා...

මං මේ කියන්න යන්නෙ වෑර්ලස් කතාවක්. එහෙමත් නැත්නම් රේඩියෝ කතාවක්. ඔය රේඩියෝ යන්ත්‍රයට ගුවන් විදුලි යන්ත්‍රය යැයි කීම වැරදියි කියනවනේ. ඊට මීට වඩා හොදයි රේඩියෝ කියලා සිංහලෙන් කියලා දාන එක.

මෙන්න මේකයි කතාව. ඔය ඉස්සර 40, 50, 60, 70 දශක වෙද්දි ලංකාවෙ පෞද්ගලික ගුවන් විදුලි නාළිකා තිබුණේ නැහැනේ. ඒ කාලෙ තිබුණ රේඩියෝ සිලෝන් එකේ විකාශය අද එෆ්.එම්. නාළිකාවල වගේ පැය 24 පුරාම තිබුණේ නැහැ. උපරිම රෑ 12 වෙනකං. පිරිත් ටිකක් ගහල, ජාතික ගීය ගහල ටික මොහොතකින් විකාශය නිමා කරනව. ඒත් ටික වෙලාවක් යනකං පොඩි බීප් සද්දයක් විකාශය කරනව. ඉතින් ශ්‍රාවක ජනතාවත් 12 පස්සෙ තමුන්ගේ රේඩියෝ වහල දානවා.

ඔන්න දවසක් එක්තරා රාත්‍රී ආපන ශාලාවක රේඩියෝව ස්විච් ඕෆ් කරන්න බැරි වෙනව විකාශය නිමා වෙලා බීප් නාදේත් යනකංම. ඔහොම බීප් නාදෙ යන අතරෙ එකපාරටම රේඩියෝ නිවේදකයෙක් රේඩියෝව හරහා කතා කරනවලු. - ඔව්! මේ රේඩියෝ වහල තියෙන මහ රෑ - 

පුතේ... ඔයා කෑම කෑව නේද...? කෝ අම්ම නිදිද...?
පැටියො මං තව ටිකකින් ට්‍රාන්ස්පෝට් එකේ ඉක්මනට ගෙදර එනව...

ඔහොම කතාවක් මේ නයිට් කඩේ  දාල තියෙන රේඩියෝවෙන් දවස් දෙක තුනක්ම ඇහුණා.
හැමදාම රෑ විකාශය නිමා වෙලා බීප් නාදයත් ටිකක් විකාශය වන අතරතුර තමයි මෙහෙම කතාවක් ඇහෙන්නෙ.

ඔන්න ඉතින් රේඩියෝ හිතකාමී නයිට් කඩේ මුදලාලි මේ ගැන රේඩියෝ සිලෝන් එකට දැනුම් දෙනවා. එතකොට තමයි අපේ කතාවේ පට්ට ක්‍රි‍යේටිව් කතානායක නිවේදකයගේ පටි රෝල් වෙන්නෙ. ඔහු එච්චර දවසක් කරපු හරිම කපටි, නමුත් අහිංසක නිර්මාණශීලී හොර වැඩේ පාලන අධිකාරියට මාට්ටු!

පාලකයො කාරණේ හොයල බලද්දි තමයි හොයාගන්නෙ රාත්‍රියේ විකාශය නිමා වෙලා අවසානයේ යන බීප් නාදය අතරතුරේ රෑට අන්තිම වැඩසටහන කරන නිවේදක මහත්මයා තමන්ගෙ පුතාට සහ පවුලේ උදවියට තමන්ගෙ කටහඩ අහන්න සලස්සන බව.  හැම තැනකම, හැම අතකම දුරකථන නොතිබුණු ඒ කාලේ මේ නිවේදකයා රේඩියෝ සිලෝන් එකේ අවසාන බීප් නාදේ ඇතුළත් ගුවන් කාලය මේ සදහා ප්‍ර යෝජනයට ගන්නෙ තමන්ගෙ ගෙදර අයට තමන් තව මොහොතකින් ගෙදර එන බව දන්වන්නයි. රාත්‍රී 12 පස්සෙ ගුවන් විදුලි වැඩසටහන් නැති නිසා බීප් නාදේ මොකට ශ්‍රාවකයෝ අහනවද? ඒ නිසා ශ්‍රාවකයො තමන්ගෙ රේඩියෝ වහල දානවා. නමුත් අර නයිට් කඩේ රේඩියෝව වහල දාන්න පරක්කු වුණු නිසයි මේ ක්‍රියේටිව් වැඩේ මාට්ටු වුණේ... කෙසෙ වෙතත් අදාළ නිවේදකයගේ රැකියාවට නම් දෙයියන්ගෙම පිහිට ආරක්ෂාව ලැබෙන්නම ඕන වුණා ඇති.

ඔන්න ඕකය කතාව... සමහර විට ඔබත් මේ කතාව අහල ඇති. සමහර විට මීට වෙනස් විදිහකට. මතක හැටියටයි කිව්වෙ.

ඉතින් මචංලා... ඔන්න ඕකයි තත්ත්වෙ...

No comments:

Post a Comment

නිකං ඉන්න එකේ කොමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ...!!!