Sunday, November 20, 2011

විදුලි මිණි පහන් සහ නිර්ධන පාන්තික ආදරය

"විදුලි මිණි පහන් දැවී - බොළඳ ගී සිනා රැළී...
නිලංකාර අඳුරේ සිර වී - සැඳෑ සාදයේ...
කුරා කුහුඹු මිනිසා වෙමි මා - ඔබේ මන්දිරේ...
කුරා කුහුඹු මිනිසා වෙමි මා - ඔබේ මන්දිරේ...

එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා...
ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ...
ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ...
පුරාගෙන පිරූ විතේ විසුළු කෙළි නැටුම් සිනා...
යොමා ඇස බලන් යළි සොඳුරේ මැඳුරු දොර දිහා...

දෙන්න කන්න බොන්න නොකියා දෙනෙතින් ආරාධනා...
දෑත පා ඉඳුල් යදී ඇස් දයා හංස ගීතිකා...
දෑත පා ඉඳුල් යදී ඇස් දයා හංස ගීතිකා...
ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳී...
පළා යයි ඔබේ ලොවින් මා දෙපා සමු නොදී..."




හඬනවාද, ඉකි බිඳ බිඳ හඬනවාද එසේත් නැතිනම් කඳුළැලි සලමින් හඬනවාදැයි සිතා ගන්නට බැරි ය. මේ තරම් සුභාවිත සිංහල ගීතයක් ශ්‍රවණයෙන් අනතුරු ව යමෙකු නෝන්ජල් අයුරින් සිනාසේ නම් ඔහු හෝ ඇය රසවින්දනය හරිහැටි නොදත් හුදෙක් ෆන් ක්ලබ් මානසිකත්වයේ සිටින කෘත්‍රීම සුවද පිරුණු ප්ලාස්ටික් මලකි.



අපේ සිංහල හෙළ ගී පරම්පරාවේ ජනතාවාදී හෙවත් දුප්පතුන් වෙනුවෙන් ගී ගැයූ ශිල්පීන් ශිල්පිනියන් එක පෙළට තැබුවහොත් ඒ අතරින් ප්‍රමුඛස්ථානයේ ගිනිය හැකි ඒ උදාර මනුෂ්‍යයා ගුණදාස කපුගේ නම් අතිශය සොඳුරු ගායකයා නොවන්නේ ද???



අද පිපී වැනෙන ප්ලාස්ටික් මල්වලට වඩා ගුණදාස කපුගේ දාහකින් වටින්නේ ය. විවාදයක් නැත. ගුණදාස කපුගේ සිරාවට ම පොරක් වන්නේ ය. අපේ මට්ටමේ/අපේ නිර්ධන පන්තියේ දුක කඳුළේ සුසුමේ සංගීතමය නියෝජනය ගුණදාස කපුගේ ය.



එක්තරා දුප්පත් තරුණයෙකු සහ ඉතාමත් පොහොසත් තරුණියක අතර ප්‍රේමයක් උපණ. ආදරයට සීමා මායිම් කොටු පවුරු නැති බව යළි යළිත් ශපත කරමින් දෙදෙනගේ ආදරය දළුලා වැඩෙයි. පෙම්වතිය තම දුප්පත් පෙම්වතාට ඇති ආදරය වැඩිකමට තම නිවසේ පැවැත්වෙන සන්ධ්‍යා සාදයට ඇරයුම් කරනු ලබන්නී ය.



මගේ සිතේ මැවෙයි. දුප්පත් පෙම්වතා යන්නේ අත්කොට කමිසයක් හැඳගෙන කළු පාට කලිසමක් හැඳගෙන ය. ඔහුගේ දෙපා වසා ඇත්තේ පරණ ගෙවුණු සෙරෙප්පු යුගලයකි. ඔහු යන ගමන් ඉරියව්...! බල්බවලින් ඒකාලෝක වූ තම පෙම්වතියගේ මහා මන්දිරය දකින ඔහුගේ දෙනෙත් නිලංකාර වී යයි. කිසිදානෙක නොදුටු නැටුම්, ගැයුම්, වැයුම් හමුවේ ඔහු වික්ෂිප්ත වෙයි.



ඔබට මැවෙනවා ද? ඔහු සෙමෙන් සෙමෙන් මන්දිරයේ දොරටුව දෙසට දෙපා ඔසවන් හැටි...!



අස්ථානගත සමාජ බියකින් තැතිගැනීමකින් “මාව දැකලා මේ අය මොනවා හිතයි ද?“ ඒ දුප්පතාගේ අවිහිංසක සිතුවිලිත් පොදි බැඳගෙන ඔහු වටපිට බලයි.



සතුටු සාමීචියේ යෙදෙමින් සිටින තම සදාදරණීය පෙම්වතිය නෑදෑ හිත මිතුරන් හා කතා කරන සැටි, සිනාසෙන සැටි ඔහු දකියි. මේ මහා ධනපති මැඳුරේ මේ දුප්පත් තරුණයා දන්නා හඳුනන එකම මනුෂ්‍ය හදවත තම පෙම්වතියගේ හදවත පමණි. වෙනදාට තමා ළඟ සුරතල් වන, දඟ කරන තමන් පණ මෙන් රකින, ආදරය කරන පොහොසත් පෙම්වතිය තවමත් තමා දෙස බැලුවේ නැත. ඒ ආයාචනය අතිශය දුක්ඛිත ය. ශෝකාකූල ය.



පෙම්වතිය විසින් දක්නා ලද ඔහුට ඇය කතා කරන්නේ නැත. තම නෑදෑ හිත මිතුරන් ඉදිරියේ තම දුප්පත් පෙම්වතාව හෙළි කිරීමට ඇ සූදානම් නැත. ධනපති මානසිකත්වය මේ අවිහිංසක ආදරයට පරහට හිටී. තමා නිසාවෙන් තම පෙම්වතියගේ සතුට නැතිවේවි යැයි ධනපති ක්‍රමයට දොස් කියමින් නොව තම දුප්පත්කම ගැන අප්‍රමාණ දුකකින් ඔහු පසු බසියි. තමන්ගේ දුප්පත් ලෝකය, සැබෑ ලෝකය බලා ඔහු පසු බසියි. මේ දුක කාට කියන්න ද? මා ඔබෙන් අසන්නේ ද ඒ ටික පමණි. සොඳුරු නැත. අප සිතන තරම් ජීවිතය සේම ආදරය ද සොඳුරු නැත. සිනා සි කතා කළා ට මාන්නක්කාර අම්මණ්ඩිලා මාර ය.



"දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී..." කියන්නට ඇත්තේ එපමණකි.

No comments:

Post a Comment

නිකං ඉන්න එකේ කොමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ...!!!