Thursday, July 19, 2012

දික්කසාද පෙම්බරීද මං...???

"කුසුම නෙතඟ තෙමනා
බොර පාට ඇස් අඟින් බේරී
වැටෙන මේ කඳුළු පේළී
ගිලා බසින දුකිනා
අවනඩුව තනිව විඳවනා
දික්කසාද පෙම්බරීද මං...
දික්කසාද පෙම්බරීද මං...


රෑ තිස්සේ මල් හීන ඇහිදින්න ගියෙත් නෑ...
ඇවිත් පෙම්බර සුලං රොන් අරන් ගියෙත් නෑ...
සිත තලන පෙලන පෙම්බරාණ හිතවතාණ කියන්න...
මට කියා දෙන්න...


මහ දුකක් දැනී දැනේ නිරුත්තර රැය පුරා...
හැඬුම් වැලපුම් ඇසී සොඳුර නුඹ හඬනවාද
කියා නුඹ ඇහුවෙ නෑ
සමසුනේ ලඟින් ඉඳන්
මට කියා දෙන්න..."




විවාහ ජීවිතය වූ කලී කොතරම් සුන්දර දැයි, කොතරම් දුක්බර දැයි කියන්නට අවමංගල දන්නේ නැත. නමුදු විවාහ ජීවිතය විටෙක අතිශය සුන්දර වූත්, තවත් විටෙක අතිශය දුක්බර වූත් කාලපරිච්ඡේදයකැයි උග් සිතෙන්නේ මෙවන් ගීත අසන විටදී ය.

සුපර් ස්ටාර්ස් ලා හොඳ නැතැයි ඇතැමුන් කීහ. නමුත් සුපර් ස්ටාර්ස් ලා ටිකක් හෝ හොඳ යැයි සිතෙන්නේ සුපිරි තරු තරඟය හරහා කරලියට පැමිණි ගයනි මධූශා ගේ මේ ගීය අසද්දී ය.

අපේ රටේ ප්‍රවීණ, ප්‍රබුද්ධ යැයි බෝඩ් ගසාගත් සංගීතඥයන් අතලොස්ස හැරුණු කොට අනෙකෙකුට සුභාවිත ගීත ගයන්නට බැරි යැයි ද වත්මන් ගීත කුලකය තුල තිබෙන ගීත අරුත් සුන්, හරයක් නැති ගීත යැයි ද දිගින් දිගටම චොදනා එල්ල වෙමින් පවතී. නමුත් සුභාවිත ගීත කලාව වූ කලී ප්‍රබුද්ධ නිර්මාණකරුවන් යැයි තමන් විසින්ම හඳුන්වාගන්න සුළුතරයකට පමණක් සීමා වූ කලාවක් නොවේ.

විවාහය..., ආදරය, ලිංගිකත්වය, අඹු-සැමි සම්බන්ධය, රාත්‍රිය, කඳුළ, සුසුම...
මට මහ හඬින් හඬන්නට සිතෙයි. ගීතයේ කතානායිකාවගේ ඉකිබිඳුම හදවතේ පතුල අතිශය රළු අයුරින් ස්පර්ශ කරනු දැනෙයි.
විවාහයෙන් පසු ස්ත්‍රියකගේ උවමනා බොහෝ තිබෙනවා වන්නට පුළුවන. විවාහ වන්නට සිටින කෙල්ලක විවාහයෙන් පසු අනාගතයේ එලඹෙන්නට නියමිත සයනයේ හෝරාවන් ගැන බොහෝ ශෘංගාරාත්මක ව සිතනවා ඇත. එසේත් නැති නම් සිහින දකිනවා ඇත ආශාවන් පොකුරු ගැහෙනවා ඇත.

නමුදු... ඒ තරම් ප්‍රාර්ථනා, හීන, ආශාවන් සිතේ තද කරගෙන විවාහපත් යුවතියකට තම නීත්‍යානුකූල සැමියාගෙන් තමන්ට අවැසි ආදරය, කරුණාව, උණුසුම නොලැබෙනවා නම්... ඒ යුවතියට තරුණියට උරුම වී ඇත්තේ කොතරම් අභාග්‍යසම්පන්න ඉරණමක්ද...???

දෙනෙතට කඳුළු එන්නේ එවිට ය. ඔව්...

සැබැවින්ම ,

රාත්‍රියේ ආශාවන් සිත තුළ දඟ කරන යාමයක කතානායිකාව අසරණ වන්නී, කඳුළු සලන්නී ය.

රෑ තිස්සේ මල් හීන්ම ඇහිඳින්න ගියෙත් නෑ...
ඇවිත් පෙම්බර සුලං රොන් අරන් ගියෙත් නෑ...

මේ... ඕ බිඳුණු ආයාචනයක නටබුන් මතින් ඇය නඟන පැනය; විවාහයෙන් පසු ස්ත්‍රියක තම ස්වාමියාගෙන් පතන උණුසුම, ආදරය හදිසියේ නැතිව යාම ඇයට එකවරම උහුලා ගත හැකිද? මුලු මහත් චිත්ත සන්තානය පුරාම විහිද යන්නේ අනුරාගය, අතීතයේ සොඳුරු ඩසුන් සහ දුක ය. කඳුළැලි ඇගේ දෙනෙත්වලට අරක්ගෙන ඇති සැටියකි. ජීවිතය පුරාම ඇයට හිස් බවක් ඩැනේ.

මේ තරමටම තම සිත රිඩහ්වන්නට තමන් ඩික්කසාද පෙම්බරියකදැයි කතානායිකාව සැලෙන දෙතොලින් විමසයි. යලි යලිත් 'කියාදෙන්න' යැයි ඇය නඟන ශෝකාලාපය මනුෂ්‍ය හදවත් කම්පා කරවන සුළු ය.

මගේ සිත තුල සිනමා පටයක අතිශය අලංකෘත දසුන් මවෙයි. එක් රාත්‍රියකි. ස්වාමියා අසුනක හිඳගෙන දෑත් බැඳගෙන සිටිනු පෙනෙයි. ඔහුගේ මුහුණ පුරා විහිදී ඇත්තේ තරමක රෞද්‍ර බැල්මකි. දුහුල් රාත්‍රී ඇඳුමින් සැරසුනු බිරිය ඔහු අසලින්ම ගෑවී නොගෑවී හිඳගෙන සිටී. දෝතින්ම මුහුණ වසාගෙන... ආලින්දයේ දල්වා ඇත්තේ බිත්තියට සවි කරන ලද මඳ ආලෝකය දෙන කුඩා විදුලි බල්බ කිහිපයක් පමණි.

--------------------------------------------

ජීවිතය ගැන අතිශය පුදුම සහගත සිතුවිල්ලක් සිතෙහි ගොඩ නැංවෙයි. සතුටක් පතන සිතකට නොකඩවා දුකක් දෙන්නේ නම්...

ඉතිරිය ඔබම සිතා බලන්න...



No comments:

Post a Comment

නිකං ඉන්න එකේ කොමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ...!!!