Tuesday, December 20, 2011

මියැදුණි මගෙ පණ…

මම හෙමින් සීරුවේ වාරු අරන් ඇදෙන් නැඟිටලා ‘ඔයා’ දිහා බැලුවා… ඒ ඇස් මගේ ඇස් ළඟ කිටි කිටියේ නැවතුණේ මටවත් හිතාගන්න බැරි විදිහට.

‘ඇයි..?’ වෙනදා වගේම දත් වැටිච්ච කටින් ඇය හිනා වෙලා ඇහුවා…

‘නිකං…’ උගුරේ සෙම හිරවෙනවා වගේ.. ඊයේ බෙහෙත් ගන්න තිබුණ දවස.. කොහෙද මගේ කම්මැලිකමට යන්නත් බැරි වුණා නෙව….

‘ඇ..යි මං දිහා බලාන ඉන්න අපෙ මහත්තයා…?’ හරියට අවුරුදු 18 කෙළි පැටික්කියක් තමන්ගෙ පෙම්වතාගෙන් අහනවා වගේ…. හ්ම්ම්… මගෙ ගෑණී වයසට ගියත් තාමත් අහිංසකයි..

‘ඔයා දිහා බලාන ඉන්ට මට අවසර නැද්ද…. දෙයියො…??’ ඒ ඇස්වලට කඳුළු පුරන හැටි මං බලාගෙන… පව්.. ඕකි ප්‍රෙෂර් ලෙඩකාරි වෙච්චි.. අතුරු ආන්තරාවක්වත් වෙයිද…

මගෙ ගෑණී… අපේ කොල්ලන්නෙ අම්මා… එයා මගේ ළඟටම ආවා… හැරමිටියට බර දීල තිබ්බ මගේ අත උඩින් ඒ අත තියාන.. අනිත් අතින් මගෙ උරිස්ස අතගෑවා… ඒ අත තාමත් සිනිඳුයි…

‘ඇ.. ඇයි අද මේ අපෙ මහත්තයා අමුතු වෙලා…? අපේ මහත්තයට දුකයිද… මගෙ අම්මා…?’ වයසට ගියත් තාමත් මට ආදරේ පාටයි…

‘මට දුකයි මගෙ දෙයියො… මට අපි දෙන්නගෙ පරණ දේවල් මැවි මැවී පේනවා… මතකද උඹට… අපෙ කොල්ලො කාන්ඩෙ හම්බුවෙන්ඩ කලින්.. මං වැඩ ඇරිලා ආවම… මේ වගේම උඹ මගෙ ළඟට වෙලා ඉන්නවා… මං බත් කන හැටි බලලා මටත් බත්කටක් දෙන්ඩ නැත්තං කෙල ගිලිනවා කියලා උඹ මට කියනවා… මං උඹට කවනවා… උඹ මට කවනවා…’ මට ඉකි ගැහුණා.. ඒ මූණ දිහා බලාගෙන භාවනා කරන්ට මට හොඳටම උවමනාව තිබුණා.. පැහිලා සුදු පාට වෙලා තිබුණ උඹේ කෙස්ගස් ටික හරි ආදරෙන් අතගෑවේ ඒ හින්දයි…එහෙමම රැළී වැටිච්ච නළල ඉම්බා.. මට අපේ මඟුල් දවස මතක් වුණා…

පැණී හඳවල් ගැන මහ ලොකුවට බෝඩ් නොගැහැව්වට… අපි දෙන්නටත් මංගල රාත්තිරියක් තිබුණා.. එතකොට ඒකි පොඩි කෙළී.. ගිරා පැටික්කියක් වගේ… ලෝබකමේ බෑ… තනි කරලට කොණ්ඩෙ ගොතලා.. ගෙදර තිබ්බ සිංගර් මැසිමෙන් මහපු චීත්ත රෙද්දයි හැට්ටෙයි ඇන්ඳම… මගේ ඇස්වහ ම වදි යි කියලා මටම බයයි…

මගේ දරදඬු මතකෙන් පියවි ලෝකෙට එනකොට මගේ කම්මුල්වල… මගේ ගෑණි.. ආදරෙ ලියලා තිබුණ.. පව් අහිංසකී….

‘ඇයි අද මේ අමුතු වෙලා… කියන්නකෝ… ‘ මං ඒ ඇස් දිහා නාකි ඇස් දෙක දිහා ඇසි පිය නොහෙලා බලාන උන්නා…

‘මට උඹ ගැන දුකයි… දෙයියො…’

‘මටත් දුකයි…’

‘ඇයි.. ඒ..?’

‘ආදරේ හින්ද…’

තාමත් ඒ හිත ඉස්සර වගේමයි… ගමේ ගොඩේ ගෑණුත් එක්ක එකතුවෙලා ඕපාදූප කතා කරපු…

මගෙත් එක්ක රණ්ඩු අල්ලලා දවස් ගණන් කතා නොකර හිටපු… මං බත් නොකා තරහින් ඉන්නකොට ලොකු කොල්ලා අතේ බත් පිඟාන එවපු මගේ ගෑණි…

මාත් එක්ක තරහා වුණ දවසට තනියම රෑට ඉකි ගගහා අඬපු… රෑ දෙගොඩ හරියෙ මහ හයියෙන් අඬාගෙන මගෙ පපුවට බරවෙලා උදේ වෙනකංම මාවත් අඬවපු මගේ ගෑණි…

මට ඔණ ගැණුනම රෙදි පාණ්කඩයක් උණු වතුරෙන් පොඟව පොඟවා.. මට නින්ද යනංකම නළල තවපු.. මට නින්ද යනකංම ඔළුව අතගාපු… මගේ පණ… මගේ දෙයියො…

දවසක් වත්ත පහල පොල් කඩනකොට විහිළුවට මං ගහෙන් වැටුණා මගෙ දෙයියො කියලා… කෑ ගහනකොට තනපටේ පිටින් අඬාගෙන වත්ත පහලට දුවගෙනව ආපු… මගෙ ගෑණි…

‘මොකද වුනේ දෙයියනේ…?’ ඔයා අඬපු හැටි… ආයෙ හෙම විහිළු කරන්නෙපා කියලා මගෙන් දිවුරුමකුත් ගත්ත හැටි… ඒ ආදරේ තාමත් එහෙමමයි.. ජීවිතේ අසූඋ වැනි වියේදිත් තාමත් ඒකි මගේ ගෑණී.. අපෙ කොල්ලන්නෙ අම්මා…

අපේ කොල්ලන්නෙ අම්මා… ගමේ මහිලා සමීතියෙ ලේකම් හාමිනේ… ‘කුසුමාවතී උපාසිකා මාතාව…’ මට එහෙමම කියවුණා… සුදු කොඩි… ගොක්කොල… අපෙ ලොකු කොල්ලන්ගෙ වැලපුම්… මගෙ පපු කැවුත්ත හිරවෙනව වගෙ…මගෙ ගෑනිගෙ මළගම…

‘අපෙ මහත්තයට කලින් මං මරෙනව.. මට කලින් අපෙ මහත්තය මැරුණොක් දුක උහුලගන්න බැරුව මං පිස්සියක් වෙයි දෙයියො…’ මීට පනස් අවුරුද්දකට‍ කලින් අඬ අඬා කිව්ව හැටි… අනේ මන්දා…. ඇයි මේව මටම මතක් වෙන්නෙ??

‘ඉන්ටකො.. මං හාල් හුණ්ඩුවක් ලිප තියලා එන්නං.දැන් අපෙ මහත්තයට බඩගිනි නැතෑ..’

‘එපා…. මගෙ ළඟට වෙලා හිටහන්…’ මම මෝහණය වෙච්චි උන්දෑ වගේ අහක බලාන කිව්වා…

‘මං මැරුණම අඩන්නෙපා දෙයියො… මට ආයෙත් එන්ට හිතෙයි… මගේ හතට නිවනක් නැතිවෙයි… අපි ලබන ආත්මෙත් මේ වගේ හම්බෙයි… මට උඹේ මිනිහා වෙන්ට බැරි වුණත් කමක්නෑ… උඹේ කුසින් වදන දරුවෙක්වෙන්ට ඉඩ දීපන්’ මගෙ ගෑනි අඬනවා… හයියෙන් අඬනව.. මාව ඉඹ ඉඹ අඬනව…

‘ඇයි දෙයියො මෙහෙම පව්කාර කතා කියන්නේ…? මගෙ පපුව පැලිලා මැරෙයි…’ මගෙ පපු කැවුත්ත රිඳුම් දෙනවා…

මට සමාවෙයන්… අද උඹට දවාලට බත් කන්ට බැරිවෙයි.. අපෙ කොල්ලන්නෙ අම්මේ… මට අද උඹව දාලා යන්ට වෙනවා.. මම එහෙමම පඩංගු කොට්ටෙට ඇලවුණා.. මං එනකං මාරයා බලාන ඉන්නව… උඹ අඬනව…මට මං කරපු කියපු පව් පින් මතක් වෙනව…

‘උඹට බුදු සරණයි… මගෙ රත්තරං.. මට දැන් යන්ට වෙලාව හරි.. අර… අර දැක්කද.. මාරය හිනාවෙනව… ඕක හරි නපුරා.. ආහ්….මං යනව.. උඹත් වරෙන්… ඉස්සර වගෙ උඹෙ අතින් බත්කටක් කන්ට ආසයි… … උ…ඹ ව..රෙන්… උඹට තුණුරුවන්නෙ සරණයි…!’ බැරි බැරි ගාතෙ මං උඹව ඉම්බා.. උඹ මට දණ ගහලා වඳිනවා… අඬනවා… මාරයා බලාන ඉන්නවා… පපුව ගොර ගොර ගානවා… ‘උඹ මගෙ ගෑණි… උඹට බුදුසරණයි මගෙ අම්මා….’

Monday, December 12, 2011

කුණුබක්කියෙ පරණ කෑම කන බල්ලගෙ බොක්ක තරං...
අපෙ උන්ගෙ ‍බොක්ක සුද්ද නෑ...

රත්තරං...

අනේ... මේ තරම් සෙනෙහසක්...
හද පුපුරු ගහන තරම්...
නුඹ මට පෙම් කළා ද මෙතරම්...
අහන්නත් සංතෝසයි දෙයියො...
ඈ කිව්ව හෙමින්...

අඬන්න එපා මං ඉන්නවනෙ...
බයවෙන්න එපා රත්තරං...
ඔයාට මාව සැක ද...
දැන් ඔයා මගේ මං ඔයාගෙනෙ...
මං කිව්ව ළඟට ම ළං වෙලා...

ඒ...යි... හෙට කිල්නික්...
රෑට උයන්ඩ හාල් ගේන්ඩ...
ලයිට් බිල හෙට එයි...
පොඩි එකාගෙ ඇන්කර් එක ඉවරයි...
ඈ කිව්වෙ ලිපට පිඹින ගමන්...