"තාත්ති..."
පොඩි පුතා ආවේ සුදු පැහැති ඩ්‍රෝවින්ග් පොතත් අතැතිව ය. සුපුරුදු ලෙසම අදත් මට පොඩි එකෙකු සේ ඔහු හා චිත්‍ර අඳින්නට සිදු වන බව මට ඉවෙන් මෙන් වැටහිණ. මා වැඩක යෙදෙන බව කියා ඔහුව පන්නා දැමීමට හිත් නොදෙයි.
"තාත්තී... අද ටීචර් කියල දුන්නා හාවෙක් අඳින හැටි!"
පොඩි පුතු 'ර' යන්නද, 'ට' යන්නද එකතු කර හාවෙකු ඇඳ පෙන්වයි. මම බලමින් උන් පුවත්පත පසෙකින් තැබුවෙමි. මගේ අතීතයේ අමිහිරි තනිකම සහ ලැබූ අනාදරය පුතුට හිමි කර දෙන්නට තරම් අමනුෂ්‍යයෙකු නොවෙමි.
"ලස්සනයි... එහෙනම් චූටි පුතා දන්නවද 9 ඉලක්කමෙන් මේ වගේ ලස්සන කණක් අඳින හැටි?" පොඩි එකාගේ කන් පෙත්ත සෙමෙන් කොනිත්තමි. සුදු කන රත් පැහැ ගැන්වෙයි. කොතරම් රිඳුණද කොල්ලා කිසිදා හඬන්නේ නැත.
"අම්මී... තාත්ති මගේ කන මිරිකුවා" ලහි ලහියේ රෑ කෑම සකස් කරන නිලූ හැරී බලයි. මහත් වූ කේන්තියක සේයාවක් වතේ ඇඳී යයි.
"තාත්තිට දැන් පුළුවන් ඕවා කරන්න විතර නේ පුතේ" එය නින්දිත පිළිතුරකි. පසුගිය මාස 3, 4 තුළ මා ගැහැනියක ඉදිරියේ ඕනෑවට වඩා පිට කොන්ද අමතක කර හිස නමා ඇත්තෙමි.
මා නිරායාසයෙන් ම කල්පනාවට වැටෙයි. අනාදරය උරුම වූ ළමා විය ගෙවා දමා හිතට දැනුණු පළමු ආදරය ඇය යි. ආදරයේ ඇදුරුතුමිය ඇය යි. ජීවිතය වැටෙන්නට යන විට තවෙකෙකුට නතු වන්නට යන විට ගොඩ ගෙන මා කෙලින් සිට වූ සොඳුරුතම ගැහැණිය ඇය යි. නමුදු දෛවය අපට උරුම කරන්නේ සතුට ම පමණක් නොවන කල, කුමක් නම් කරන්න ද?
"අනේ තාත්තී... කියලා දෙන්නකෝ" සිතුවිලි දැහැන කැඩී විසිරී යයි. එය මහත් වූ සහනයකි.
"කෝ පුතු අඳින්නකෝ නවයෙ ඉලක්කම"
"නවය කියන්නේ මොකක්ද තාත්ති ටීචර් තාම කියලා දුන්නේ නෑනෙ" ඔහු පෙර පාසලට ගොස් මාසයකි. නිලූ අසා උන්නා නම් ආයෙමත් දෙපැත්ත කැපෙන වචනයක් කියනු නියත ය.
"ඔන්න බලාගන්න අපි මේ ටීවී රිමෝට් එකේ බැටරිය ගමුකෝ... මෙන්න තියෙනවා" එවරෙඩි පෙන්ටෝච් බැටරිය ගලවාගතිමි. ඔහු එය අතට ගෙන හරවමින් බලයි. තනිවම හිනැහෙයි.
"කෝ තාත්ති නවය?"
"මේ තියෙන්නෙ පුතේ..."
"තාත්ති මේ චූටි පූස් පැටියෙකුත් ඉන්නවා... මේ..." 9 ඉලක්කම අඳින හැටි කියා දෙමි. 9 න් කණක් අඳින අපූරුව දැක පුතු හිනැහෙයි.
"තාත්ති මෙන්න මෙහෙම පූසව ඇන්දම තව ලස්සනයි. කනෙන් රිංගන පූසෙක්!" කුස්සියේ මහත් හඬින් ඇය පිඟන් සෝදයි.
"තාත්ති මේ පූසා කොහෙද යන්නේ හයියෙන් දුවගෙන?"
"මීයෝ අල්ලන්න පුතේ"
"එහෙනම් ඇයි මේ බයෙන් වගේ පිටිපස්ස බලන්නේ?"
"කවුරු හරි දකී කියලා"
"ඇයි ඒ?"
"එතකොට මීයො අල්ලනවා කියලා වූව ගෙදරින් පන්නනවනේ..."
"අපේ පූසත් මීයො අල්ලනවද තාත්ති..."
"ඔව් පැටියෝ... ඉස්සර නම් ඇල්ලුවේ නෑ... ඒත් ගෙදර අය නැතිවෙනකොට මීයො අල්ලනවා..."