Tuesday, December 20, 2011

මියැදුණි මගෙ පණ…

මම හෙමින් සීරුවේ වාරු අරන් ඇදෙන් නැඟිටලා ‘ඔයා’ දිහා බැලුවා… ඒ ඇස් මගේ ඇස් ළඟ කිටි කිටියේ නැවතුණේ මටවත් හිතාගන්න බැරි විදිහට.

‘ඇයි..?’ වෙනදා වගේම දත් වැටිච්ච කටින් ඇය හිනා වෙලා ඇහුවා…

‘නිකං…’ උගුරේ සෙම හිරවෙනවා වගේ.. ඊයේ බෙහෙත් ගන්න තිබුණ දවස.. කොහෙද මගේ කම්මැලිකමට යන්නත් බැරි වුණා නෙව….

‘ඇ..යි මං දිහා බලාන ඉන්න අපෙ මහත්තයා…?’ හරියට අවුරුදු 18 කෙළි පැටික්කියක් තමන්ගෙ පෙම්වතාගෙන් අහනවා වගේ…. හ්ම්ම්… මගෙ ගෑණී වයසට ගියත් තාමත් අහිංසකයි..

‘ඔයා දිහා බලාන ඉන්ට මට අවසර නැද්ද…. දෙයියො…??’ ඒ ඇස්වලට කඳුළු පුරන හැටි මං බලාගෙන… පව්.. ඕකි ප්‍රෙෂර් ලෙඩකාරි වෙච්චි.. අතුරු ආන්තරාවක්වත් වෙයිද…

මගෙ ගෑණී… අපේ කොල්ලන්නෙ අම්මා… එයා මගේ ළඟටම ආවා… හැරමිටියට බර දීල තිබ්බ මගේ අත උඩින් ඒ අත තියාන.. අනිත් අතින් මගෙ උරිස්ස අතගෑවා… ඒ අත තාමත් සිනිඳුයි…

‘ඇ.. ඇයි අද මේ අපෙ මහත්තයා අමුතු වෙලා…? අපේ මහත්තයට දුකයිද… මගෙ අම්මා…?’ වයසට ගියත් තාමත් මට ආදරේ පාටයි…

‘මට දුකයි මගෙ දෙයියො… මට අපි දෙන්නගෙ පරණ දේවල් මැවි මැවී පේනවා… මතකද උඹට… අපෙ කොල්ලො කාන්ඩෙ හම්බුවෙන්ඩ කලින්.. මං වැඩ ඇරිලා ආවම… මේ වගේම උඹ මගෙ ළඟට වෙලා ඉන්නවා… මං බත් කන හැටි බලලා මටත් බත්කටක් දෙන්ඩ නැත්තං කෙල ගිලිනවා කියලා උඹ මට කියනවා… මං උඹට කවනවා… උඹ මට කවනවා…’ මට ඉකි ගැහුණා.. ඒ මූණ දිහා බලාගෙන භාවනා කරන්ට මට හොඳටම උවමනාව තිබුණා.. පැහිලා සුදු පාට වෙලා තිබුණ උඹේ කෙස්ගස් ටික හරි ආදරෙන් අතගෑවේ ඒ හින්දයි…එහෙමම රැළී වැටිච්ච නළල ඉම්බා.. මට අපේ මඟුල් දවස මතක් වුණා…

පැණී හඳවල් ගැන මහ ලොකුවට බෝඩ් නොගැහැව්වට… අපි දෙන්නටත් මංගල රාත්තිරියක් තිබුණා.. එතකොට ඒකි පොඩි කෙළී.. ගිරා පැටික්කියක් වගේ… ලෝබකමේ බෑ… තනි කරලට කොණ්ඩෙ ගොතලා.. ගෙදර තිබ්බ සිංගර් මැසිමෙන් මහපු චීත්ත රෙද්දයි හැට්ටෙයි ඇන්ඳම… මගේ ඇස්වහ ම වදි යි කියලා මටම බයයි…

මගේ දරදඬු මතකෙන් පියවි ලෝකෙට එනකොට මගේ කම්මුල්වල… මගේ ගෑණි.. ආදරෙ ලියලා තිබුණ.. පව් අහිංසකී….

‘ඇයි අද මේ අමුතු වෙලා… කියන්නකෝ… ‘ මං ඒ ඇස් දිහා නාකි ඇස් දෙක දිහා ඇසි පිය නොහෙලා බලාන උන්නා…

‘මට උඹ ගැන දුකයි… දෙයියො…’

‘මටත් දුකයි…’

‘ඇයි.. ඒ..?’

‘ආදරේ හින්ද…’

තාමත් ඒ හිත ඉස්සර වගේමයි… ගමේ ගොඩේ ගෑණුත් එක්ක එකතුවෙලා ඕපාදූප කතා කරපු…

මගෙත් එක්ක රණ්ඩු අල්ලලා දවස් ගණන් කතා නොකර හිටපු… මං බත් නොකා තරහින් ඉන්නකොට ලොකු කොල්ලා අතේ බත් පිඟාන එවපු මගේ ගෑණි…

මාත් එක්ක තරහා වුණ දවසට තනියම රෑට ඉකි ගගහා අඬපු… රෑ දෙගොඩ හරියෙ මහ හයියෙන් අඬාගෙන මගෙ පපුවට බරවෙලා උදේ වෙනකංම මාවත් අඬවපු මගේ ගෑණි…

මට ඔණ ගැණුනම රෙදි පාණ්කඩයක් උණු වතුරෙන් පොඟව පොඟවා.. මට නින්ද යනංකම නළල තවපු.. මට නින්ද යනකංම ඔළුව අතගාපු… මගේ පණ… මගේ දෙයියො…

දවසක් වත්ත පහල පොල් කඩනකොට විහිළුවට මං ගහෙන් වැටුණා මගෙ දෙයියො කියලා… කෑ ගහනකොට තනපටේ පිටින් අඬාගෙන වත්ත පහලට දුවගෙනව ආපු… මගෙ ගෑණි…

‘මොකද වුනේ දෙයියනේ…?’ ඔයා අඬපු හැටි… ආයෙ හෙම විහිළු කරන්නෙපා කියලා මගෙන් දිවුරුමකුත් ගත්ත හැටි… ඒ ආදරේ තාමත් එහෙමමයි.. ජීවිතේ අසූඋ වැනි වියේදිත් තාමත් ඒකි මගේ ගෑණී.. අපෙ කොල්ලන්නෙ අම්මා…

අපේ කොල්ලන්නෙ අම්මා… ගමේ මහිලා සමීතියෙ ලේකම් හාමිනේ… ‘කුසුමාවතී උපාසිකා මාතාව…’ මට එහෙමම කියවුණා… සුදු කොඩි… ගොක්කොල… අපෙ ලොකු කොල්ලන්ගෙ වැලපුම්… මගෙ පපු කැවුත්ත හිරවෙනව වගෙ…මගෙ ගෑනිගෙ මළගම…

‘අපෙ මහත්තයට කලින් මං මරෙනව.. මට කලින් අපෙ මහත්තය මැරුණොක් දුක උහුලගන්න බැරුව මං පිස්සියක් වෙයි දෙයියො…’ මීට පනස් අවුරුද්දකට‍ කලින් අඬ අඬා කිව්ව හැටි… අනේ මන්දා…. ඇයි මේව මටම මතක් වෙන්නෙ??

‘ඉන්ටකො.. මං හාල් හුණ්ඩුවක් ලිප තියලා එන්නං.දැන් අපෙ මහත්තයට බඩගිනි නැතෑ..’

‘එපා…. මගෙ ළඟට වෙලා හිටහන්…’ මම මෝහණය වෙච්චි උන්දෑ වගේ අහක බලාන කිව්වා…

‘මං මැරුණම අඩන්නෙපා දෙයියො… මට ආයෙත් එන්ට හිතෙයි… මගේ හතට නිවනක් නැතිවෙයි… අපි ලබන ආත්මෙත් මේ වගේ හම්බෙයි… මට උඹේ මිනිහා වෙන්ට බැරි වුණත් කමක්නෑ… උඹේ කුසින් වදන දරුවෙක්වෙන්ට ඉඩ දීපන්’ මගෙ ගෑනි අඬනවා… හයියෙන් අඬනව.. මාව ඉඹ ඉඹ අඬනව…

‘ඇයි දෙයියො මෙහෙම පව්කාර කතා කියන්නේ…? මගෙ පපුව පැලිලා මැරෙයි…’ මගෙ පපු කැවුත්ත රිඳුම් දෙනවා…

මට සමාවෙයන්… අද උඹට දවාලට බත් කන්ට බැරිවෙයි.. අපෙ කොල්ලන්නෙ අම්මේ… මට අද උඹව දාලා යන්ට වෙනවා.. මම එහෙමම පඩංගු කොට්ටෙට ඇලවුණා.. මං එනකං මාරයා බලාන ඉන්නව… උඹ අඬනව…මට මං කරපු කියපු පව් පින් මතක් වෙනව…

‘උඹට බුදු සරණයි… මගෙ රත්තරං.. මට දැන් යන්ට වෙලාව හරි.. අර… අර දැක්කද.. මාරය හිනාවෙනව… ඕක හරි නපුරා.. ආහ්….මං යනව.. උඹත් වරෙන්… ඉස්සර වගෙ උඹෙ අතින් බත්කටක් කන්ට ආසයි… … උ…ඹ ව..රෙන්… උඹට තුණුරුවන්නෙ සරණයි…!’ බැරි බැරි ගාතෙ මං උඹව ඉම්බා.. උඹ මට දණ ගහලා වඳිනවා… අඬනවා… මාරයා බලාන ඉන්නවා… පපුව ගොර ගොර ගානවා… ‘උඹ මගෙ ගෑණි… උඹට බුදුසරණයි මගෙ අම්මා….’

Monday, December 12, 2011

කුණුබක්කියෙ පරණ කෑම කන බල්ලගෙ බොක්ක තරං...
අපෙ උන්ගෙ ‍බොක්ක සුද්ද නෑ...

රත්තරං...

අනේ... මේ තරම් සෙනෙහසක්...
හද පුපුරු ගහන තරම්...
නුඹ මට පෙම් කළා ද මෙතරම්...
අහන්නත් සංතෝසයි දෙයියො...
ඈ කිව්ව හෙමින්...

අඬන්න එපා මං ඉන්නවනෙ...
බයවෙන්න එපා රත්තරං...
ඔයාට මාව සැක ද...
දැන් ඔයා මගේ මං ඔයාගෙනෙ...
මං කිව්ව ළඟට ම ළං වෙලා...

ඒ...යි... හෙට කිල්නික්...
රෑට උයන්ඩ හාල් ගේන්ඩ...
ලයිට් බිල හෙට එයි...
පොඩි එකාගෙ ඇන්කර් එක ඉවරයි...
ඈ කිව්වෙ ලිපට පිඹින ගමන්...

Tuesday, November 22, 2011

සුදු පිරුවටයයි, මංගල යහනයි...

සුදු පිරුවටයයි, මංගල යහනයි...
කඳුළින් තෙමනු එපා...
ඔබේ නිදො‍ස් බව ලොවට කියන්නම්...
මට දොස් නඟනු එපා...
මට දොස් නඟනු එපා...



සාගරයට වැඩි ආදර හිත් ළඟ
අපි ළදරුවන් වගේ...‍
අපේ ම ලොව තුළ තනි වුණු දා අපි
දුර නොබැලුවේ ඔබයි....‍
දුර නොබැලුවේ ඔබයි...



සුදු පිරුවටයයි...



නෑසිය මිතුරන්, මගෙ දෙගුරුන් හෙට වරද ඔබෙන් විමසයි...
විමසන වදනට දෙන්නට පිළිතුරු
තවමත් සිත සසලයි...
තවමත් සිත සසලයි...



සුදු පිරුවටයයි...



- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි -

Sunday, November 20, 2011

විදුලි මිණි පහන් සහ නිර්ධන පාන්තික ආදරය

"විදුලි මිණි පහන් දැවී - බොළඳ ගී සිනා රැළී...
නිලංකාර අඳුරේ සිර වී - සැඳෑ සාදයේ...
කුරා කුහුඹු මිනිසා වෙමි මා - ඔබේ මන්දිරේ...
කුරා කුහුඹු මිනිසා වෙමි මා - ඔබේ මන්දිරේ...

එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා...
ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ...
ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ...
පුරාගෙන පිරූ විතේ විසුළු කෙළි නැටුම් සිනා...
යොමා ඇස බලන් යළි සොඳුරේ මැඳුරු දොර දිහා...

දෙන්න කන්න බොන්න නොකියා දෙනෙතින් ආරාධනා...
දෑත පා ඉඳුල් යදී ඇස් දයා හංස ගීතිකා...
දෑත පා ඉඳුල් යදී ඇස් දයා හංස ගීතිකා...
ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳී...
පළා යයි ඔබේ ලොවින් මා දෙපා සමු නොදී..."




හඬනවාද, ඉකි බිඳ බිඳ හඬනවාද එසේත් නැතිනම් කඳුළැලි සලමින් හඬනවාදැයි සිතා ගන්නට බැරි ය. මේ තරම් සුභාවිත සිංහල ගීතයක් ශ්‍රවණයෙන් අනතුරු ව යමෙකු නෝන්ජල් අයුරින් සිනාසේ නම් ඔහු හෝ ඇය රසවින්දනය හරිහැටි නොදත් හුදෙක් ෆන් ක්ලබ් මානසිකත්වයේ සිටින කෘත්‍රීම සුවද පිරුණු ප්ලාස්ටික් මලකි.



අපේ සිංහල හෙළ ගී පරම්පරාවේ ජනතාවාදී හෙවත් දුප්පතුන් වෙනුවෙන් ගී ගැයූ ශිල්පීන් ශිල්පිනියන් එක පෙළට තැබුවහොත් ඒ අතරින් ප්‍රමුඛස්ථානයේ ගිනිය හැකි ඒ උදාර මනුෂ්‍යයා ගුණදාස කපුගේ නම් අතිශය සොඳුරු ගායකයා නොවන්නේ ද???



අද පිපී වැනෙන ප්ලාස්ටික් මල්වලට වඩා ගුණදාස කපුගේ දාහකින් වටින්නේ ය. විවාදයක් නැත. ගුණදාස කපුගේ සිරාවට ම පොරක් වන්නේ ය. අපේ මට්ටමේ/අපේ නිර්ධන පන්තියේ දුක කඳුළේ සුසුමේ සංගීතමය නියෝජනය ගුණදාස කපුගේ ය.



එක්තරා දුප්පත් තරුණයෙකු සහ ඉතාමත් පොහොසත් තරුණියක අතර ප්‍රේමයක් උපණ. ආදරයට සීමා මායිම් කොටු පවුරු නැති බව යළි යළිත් ශපත කරමින් දෙදෙනගේ ආදරය දළුලා වැඩෙයි. පෙම්වතිය තම දුප්පත් පෙම්වතාට ඇති ආදරය වැඩිකමට තම නිවසේ පැවැත්වෙන සන්ධ්‍යා සාදයට ඇරයුම් කරනු ලබන්නී ය.



මගේ සිතේ මැවෙයි. දුප්පත් පෙම්වතා යන්නේ අත්කොට කමිසයක් හැඳගෙන කළු පාට කලිසමක් හැඳගෙන ය. ඔහුගේ දෙපා වසා ඇත්තේ පරණ ගෙවුණු සෙරෙප්පු යුගලයකි. ඔහු යන ගමන් ඉරියව්...! බල්බවලින් ඒකාලෝක වූ තම පෙම්වතියගේ මහා මන්දිරය දකින ඔහුගේ දෙනෙත් නිලංකාර වී යයි. කිසිදානෙක නොදුටු නැටුම්, ගැයුම්, වැයුම් හමුවේ ඔහු වික්ෂිප්ත වෙයි.



ඔබට මැවෙනවා ද? ඔහු සෙමෙන් සෙමෙන් මන්දිරයේ දොරටුව දෙසට දෙපා ඔසවන් හැටි...!



අස්ථානගත සමාජ බියකින් තැතිගැනීමකින් “මාව දැකලා මේ අය මොනවා හිතයි ද?“ ඒ දුප්පතාගේ අවිහිංසක සිතුවිලිත් පොදි බැඳගෙන ඔහු වටපිට බලයි.



සතුටු සාමීචියේ යෙදෙමින් සිටින තම සදාදරණීය පෙම්වතිය නෑදෑ හිත මිතුරන් හා කතා කරන සැටි, සිනාසෙන සැටි ඔහු දකියි. මේ මහා ධනපති මැඳුරේ මේ දුප්පත් තරුණයා දන්නා හඳුනන එකම මනුෂ්‍ය හදවත තම පෙම්වතියගේ හදවත පමණි. වෙනදාට තමා ළඟ සුරතල් වන, දඟ කරන තමන් පණ මෙන් රකින, ආදරය කරන පොහොසත් පෙම්වතිය තවමත් තමා දෙස බැලුවේ නැත. ඒ ආයාචනය අතිශය දුක්ඛිත ය. ශෝකාකූල ය.



පෙම්වතිය විසින් දක්නා ලද ඔහුට ඇය කතා කරන්නේ නැත. තම නෑදෑ හිත මිතුරන් ඉදිරියේ තම දුප්පත් පෙම්වතාව හෙළි කිරීමට ඇ සූදානම් නැත. ධනපති මානසිකත්වය මේ අවිහිංසක ආදරයට පරහට හිටී. තමා නිසාවෙන් තම පෙම්වතියගේ සතුට නැතිවේවි යැයි ධනපති ක්‍රමයට දොස් කියමින් නොව තම දුප්පත්කම ගැන අප්‍රමාණ දුකකින් ඔහු පසු බසියි. තමන්ගේ දුප්පත් ලෝකය, සැබෑ ලෝකය බලා ඔහු පසු බසියි. මේ දුක කාට කියන්න ද? මා ඔබෙන් අසන්නේ ද ඒ ටික පමණි. සොඳුරු නැත. අප සිතන තරම් ජීවිතය සේම ආදරය ද සොඳුරු නැත. සිනා සි කතා කළා ට මාන්නක්කාර අම්මණ්ඩිලා මාර ය.



"දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී..." කියන්නට ඇත්තේ එපමණකි.

Friday, November 18, 2011

දෙන්න සුලෝ...

"මට දුන්නු ඒ ලස්සන ජිවිතේ ආයෙමත් දෙන්න

සුලෝ..."
ඒ ඇස් ඒ තරමට ම අහිංසක දැයි යළි යළි සිතා

බලන්නට මට හොඳටම වුවමනාව

තිබුණා.දෙනෝදාහක් මිනිස්සු අපේ වටේට ඉන්න බව

මට මොහොතකට අමතක වුණා. ජීවිතේ...

ලස්සනයි.... සුන්දරයි... කීව අතීතයක් මටත් තිබුණා

නේද...?? මගෙ හිත මගෙන් ඇහුවෙ ඔහුගෙ දෙනෙත්

වලින් මගේ නෙත් ඉවත් කර නොගෙනයි.

""ආදරේ... අපේ ආදරේ..."" මීට අවුරුදු 2කට විතර

ඉස්සර එක දවසක මහ රෑ 9ට විතර කාවො කාපු

'බරකත්' ඇක්සයිස් කොළයක මං ලීව නිසදැසක වචන

දෙකක් මට මතක් වුණා. ඒ අතීතය කොයි කරම්

සුන්දරද...
අදහාගන්න බැරි තරම්... දරාගන්න බැරි තරම්

සුන්දරයි...

බොළඳ ප්‍රේම කතා වෙනුවට යථාර්ථවාදී ඇස්වලින් අපි

ලෝකය දිහා බැලුවා. ලෝකය අපි දිහා කන්න වගේ

බැලුවා. සුජීයි... මමයි... අලි දෙන්නම. ගැහැණු - පිරිමි

කියලා ලිංගික වෙනසක් තිබුණ එක විතරයි. සිතිවිලි

වල වෙනසක් නැහැ. අවුරුදු හතරක්... කල්පයක් වගේ

කියලා නොකිව්වත්... අපේ ආදරේ අපි විඳපු හැම

මොහොතක්ම හරිම ඉබි ගමනින් ගලා ගියා. ඒ සතුට

අපි තුන් හිතින් ම වින්ඳා.

මාකට් කරපු ආදරේ අරන් ලවර් එකෙන් මුදු කරාබු

බ්‍රේස්ලට් අරගෙන පේරාදෙණියෙ මල්වත්තට ගිහින්

ලව් නොකෙරුවට දුප්පත් මිනිස්සු එදා වේල හම්බ

කරගන්න නොවිඳිනා දුක් විඳින වීදිවල පිළිණු වුණ

එළවළු ඟඳ කක්කුස්සිවල ඟඳ ගහන මාවත්වල මං

සුජීගේ අ‍තේ එල්ලිලා පැද්දි පැද්දි ගිය හැටි මට තාමත්

මතකයි. ඉංග්‍රීසී නම් ගහපු අකුරු තුනේ හෝටල්වලින්

පේස්ට්‍රි, හොට් ‍ඩෝග්, පීසා නොකෑවට සුජීට හම්බ

වුණ සොච්චම් පඩියෙන් අපි මුණ ගැහුණ හැම දවසකම

සුදා අන්නගෙ කඩේ තෝසෙ පිඟානයි, හොඳි

බාල්දියයි අපි එනකං මඟ බලාගෙන හිටියා. ලොකු

ලොකු හෝටල්වල මූණිච්චාවට හිනාවෙන වේටර්

අයියලාට වඩා තෝසෙ කඩේ සුදා අන්නගෙ බොක්ක

සුද්දයි කියලා සුජියි මායි දැනගෙන හිටියා.

එහෙමත් දවසක රු 50 ට ගුඩ්ෂෙඩ් එකේ වයසක සීයා

කෙනෙක‍් විකුණන අඟල් 2ක් උස සෙන්ට් කුප්පියක්

සුජී මට අරන් දුන්නා. ඒක මං අරන් ගිහින් හැංඟුවේ

පැදුරු වාන මැද්දෙ. ඒ අපේ ජීවිතේ. අපේ ආදරේ. ඒ

ආදරේ අවුරුදු ගාණකට පස්සේ ආයෙමත් මගේ ඇස්

පනාපිටට ඇවිත් දෙයියනේ.!

"කොහෙද ඕයි යන්නෙ අයින් වෙනවලා... පාරෙ
මැද්දෙ ලව් කරන්න තියාගත්තෙ මොන බම්බුවටද...?"
මං තිගැස්සිලා ගියා. ලක්ස බර ගාණක කළු පාට මහ.

වාහනේක උසස් පැළැන්තියෙ හැදුණු ශීලචෙරෙ

ඩ්‍රැයිවර් මහත්තයෙක් අපි‍ට බනිනවා. මම පාරෙ අයිනට

වුණා. වෙනද වගේ ම අඩි උස සෙරෙප්පු නොදැම්ම

මගේ කකුල් දෙක මඩ වතුර වලකට වැටුණා.

"සුලෝ අපි යමු හෝදගන්න..." ඔහු කවදාවත් මඩ

නොදැක්ක කෙනෙක් වගේ අප්පිරියාවෙන් මගේ

කකුල් දිහා බලලා එහෙම කිව්වෙ ටයි පටිය අතින් තද

කරගන්න ගමන්ම යි.
"ඕනි නැහැ... මට පුරුදුයි..." මම තරහින් කිව්ව.
ඔහු ආයෙත් හැඟුම්බර වෙන්න උත්සාහ කරනවා. ඒ

ඇස්... ඒ අහිංසක ඇස් මේ තරම්ම බොරුකාරකම්

කරන්න පුරුදු වුණේ කොහෙන්ද...?

"සුලෝ... මට.. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න

ඕන..." බයෙන් බයෙන් වගේ සුජී මගේ ඇස් දිහා

බැලුවා.

"ඇයි මට මේ තරම් දුක් දුන්නෙ...?" මං ඇහුවෙ

එච්චරයි. ඒ ඇස් බලාගෙන ඉද්දි බොඳවුණ හැටි මං

බලාගෙන.

"අයිම් සොරි..." නොකියා මං "ම‍ට සමාවෙන්න..."

කිව්වා.

ළඟින් ගියපු අපේ සිංහල සර්ගෙ පන්ති යන සුදර්ශන

මල්ලි මගේ දිහා අමුතු විදිහට බැලුවා.

....මං වැරදි දෙයක්වත් කිව්වද...??? .... මං මගෙන් ම

ඇහුවා.

"මමයි ඔයාට සොරි කියන්න ඕන... අපි ටිකක් නිදහස්

තැනකට යමු...?" සුජී දැන් හුඟාක් වෙනස්... උසස්

පැළැන්තියේ භාෂාව... ශාස්ත්‍රීය පැලැස්තර ගැසූ

පිළිකුල් වාග් විලාශය.. ඔහුගේ ඉංග්‍රීසි අකුරු කාර් එක

ස්ටාට් වුණා. ඇතුලෙ ඉන්න අය පිටට පේන්නෙ නෑ.

"එන්න නඟින්න සුලෝ..." සුජී ආඩම්බරෙන් කිව්වා.
සීතලේ බෑ... ඒ මදිවට මොන මොනවදෝ ඉංග්‍රීසි සිංදු

ටිකක්... I wanna *uck you...! *uck you...! පුංචි

හේවා සර්ගෙ රුපියල් 7.50 ඉංග්‍රීසි වලට පින් සිද්ධ

වේවා! මගේ ඇඟ සීතල වෙලා වෙවුලලා ගියා.

ඔහු අළුත් පාරෙ අයිනක වාහනය දිගේලි කළා.
"බහින්න..." මං මුකුත් කිව්වෙ නෑ.
"ලස්සන පළාතක් නේද...?" ටවුම පේන මානේ... ඒත්

සුජීට මැජික් වගේ. ජෙල් ගාල කූරු කූරු වුණ

කොණ්ඩෙ සුජී අතින් ලස්සනට හදාගත්තා.

"හ්ම්... ඇයි සුජිත් මාත් එක්ක මොනවද කතා කරන්න

තියෙන්නෙ...??" මම කෙළින් ම ඇහුවා. එහෙම

අහනකොට ම ළඟින් ගියපු ඉස්කෝලෙ යන නංගි

කෙනෙක්ගෙ ඇඟට කපුටෙක් වර්චර් කළා. මගෙ

මතකය ගොඩාක් දුර ගියා.

ලස්සන දවසක්... නුවර වැව රවුම... වතුර පිරිලා...

බෝට්ටුවෙ යන්න ආසයි... ඒත් සතයක් අතේ නෑ...

අපේ හයේ කල්ලිය...කෙල්ලො හය දෙනෙක්... අපේ

පස්සෙන් කොල්ලො තුන් දෙනෙක්. ගැලවුණ

සෙරෙප්පුවකට හැට්ට කට්ටක් ගහගෙන.. ගාමන්ට්

එකකින් ඩැමේජ් වෙලා අහක දාන බැජ් ගහපු ටී ෂර්ට්

එකක් ඇඳගෙන ඒ හිටියෙ සුජිත්.. මගෙ ආදරේ...

"අයියෝ... කපුටෙක් ජරා කළා... හෙණ ගහපිය..."

මගේ වාචාල කට තැනක් නොතැනක් බලලා එහෙමම

කිව්වා. කෙල්ලො ටිකට හිනා. ලේන්සුවත් නෑ. ඊයෙ

හේදුවාට තාම වැලේනෙ.
"ආ... මේකෙන් පිහදාගන්න..." පිටිපස්සෙන් ආපු

කොල්ලෙක් ලේන්සුවක් දික්කරනකොට මට ලැජ්ජ

හිතුණා.

....මොනවා පිහදාපු ලේන්සුවක් ද දන්නෑ... මගෙ හිත

කිව්වා.
"තෑන්ක් යූ..." එදා සුජීගෙ ඇස් දිලිසුණු හැටි මට

තාමත් මතකයි. ඒ අපේ හමුවී. මගේ ප්‍රථම ආදරේ...

"මොනවද කල්පනා කළේ...??"
"අපේ අතීතෙ ගැන..." මං ටිකක් විතර ශාස්ත්‍රීය

භාෂාවෙන් උත්තර දුන්නා.
"හ්ම්... හ්ම්... ලස්සනයි.. අදට වඩා ලස්සනයි..." ඒ

කතාව දාහක් වටිනවා වුණත් ඒ වචන ටික ඇතුළෙ මහ
පුදුමාකාර ව්‍යාජකමක් තිබුණා
"ඔය බොරු සුජිත්.. ඔයා එදාට වඩා අද ගොඩක්

හොඳට ඉන්නවා. මං අද මේ ගමන ආවෙ ඔයා මං

දවසක් හරි ආදරේ කරපු මිනිහෙක් හින්දා. අපේ තාත්ත

ඉස්පිරිතාලෙ ඉන්නකොට‍ ගෙදර වියදමට ඔයා මට

දුන්න රුපියල් දෙසීය හින්දා... මට මං ගැනම දුකයි...

මටත් කැම්පස් යන්න සල්ලි තිබුණ නං මාත් හොඳ

තැනක ඉන්න කෙල්ලෙක්..." මෙච්චර කාලයක්

කාටවත් කියාගන්න බැරුව හිතේ හිර කරගෙන විඳව

විඳවා හිටපු ගොඩක් දේ මං කියලා දැම්මා.

"ඔව්... මං ලස්සනට ඉන්නවා... හිතේ තියෙන දුක

කාටවත් පේන් ‍නෑ..."
"මොන දුකද...?"
ආදරේ දුක විරහව ගැන ලියන සාහිත්‍යවාදී පොරක්

වගෙයි සුජී.

"මං තාමත් ආදරෙයි සුලෝ..." බළලා මල්ලෙන්

එළියට‍ පැන්නා. සීයක් දෙසීයක් එක්ක බුදියාගත්ත සුජී

ගෙ අත්වලට මගේ අත් මැදිවුණා.
ඔය බොරු...ඒ අත් දෙක ඉස්සර වගේ ගොරෝසු

නැහැ. දර යාර ගහපු කාලෙ වැලි ගොඩ දාපු කාලෙ

එයාගෙ අත්වල කරගැට තිබුණා.

එදා ඉදල ම හැමදාම ගෙද වලං හෝදලා රෙදි

හෝදලාම සුදු පාට රැකගත්තමගේ දෑත් ඔහුගේ

දෑත්වලට නතු වුණා...

"මමත් ආදරෙයි..." ඒ ඇස් දිලිසෙනවා. ඒ... ආදරේට ද

නැත්නම්... ඔහු ලිප්ස්ටික් නොගෑව මගේ දෙතොල්

දිහා බලාගෙන හිටියා. ඇරයුමක් ඒ ඇස්වල

ලියවෙනවා මං බලාගෙන. ගෝල්ඩ් ලීෆ් ගහල

ජොයින්ට් ගහල කළු වෙච්ච ඔහුගෙ දෙතොල්

පොපියනවා.

"එන්න නඟින්න කා එකට... අපි පොඩ්ඩක් නිදහසේ

කතා කරන්න පුළුවන් තැනකට යමු..."
"මොකටද...?"
"අනේ බබෝ... යමුකො මං කියන්නම්. අද මං කලම්බු

යනව. ඊට කලින්............"

Tuesday, November 15, 2011

සිත රිඳුණා පමණයි

උපුටා ගැනීම...

මා එදින නිලංග අයියාගේ

අතේ එල්ලී පාසැල් යුන්ෆෝම් එක

පිටින්ම එම හෝටලයට ඇතුල්

වෙද්දී අවුරුදු දහසයක් වයසැති

යුවතියක් ලෙසින‍් එහි කිසිම

අවදානම් බවක්.... කිසිම බැරෑරුම්

බවක් මට නොදැනුණි. එහෙත් එම

හෝටලයේ සිටි මැදිවියේ

පුද්ගලයෙකු මා දැක කම්මුලේ අත

ගසා ගත් අයුරු මට මතකය. ඔහු

මදෙස බලා සිටියේ පුදුමයෙන්

මෙන් ය. එලෙස බලා සිටිනු දුටු

නිලංග අයියා ඔහුව ගාණකටවත්

නොගෙන මාව ඔහු වෙතට ළංකර

ගත්තේ ය.



"එක එක

විදිහේ අසහනකාරයෝ ඉන්නවා..

කෙල්ලෙක් දැකපු හැටියේ කෙළ

හලනවා.."




මම නිලංග අයියාගේ ඇඟටම

හිස බර කර ගතිමි. මට අවශ්‍ය වූයේ

මගේ ජීවිතයම ඔහු අසලින් තබා

හිත සනසා ගැනීමට ය.
එහෙත් මා එම හෝටලයෙන්

ආපසු යාමට සූදානම් වෙද්දී එම

හෝටලයට ඇතුල්වෙද්දී මා තුළ

තිබූ සතුට... සැහැල්ලු බව.. නිදහස්

බව එහෙම පිටින්ම උඩුයටිකුරු වී

තිබුණි. නිලංග අයියාගේ අතේ

එල්ලී.. ඔහුගේ ඇඟටම හේත්තු වී

බොහෝම සුන්දර කෙල්ලෙකු

ලෙසින් එම හෝටලයට ඇතුළු වූ

මා හට ඉන් පිට වීමට සිදු වූයේ

මගේ ජීවිතයේ බොහෝ දේ අහිමි

කරගෙන බොහෝ දේ වෙනස්

කරගෙන ය.



මම නිලංග අයියා සමඟ එම

හෝටලයට පැමිණෙන විට එකම

මොහොතකදීවත් එම ගමනේ

බැරෑරුම් බවක් මට නොවැටහුණි.

එහෙත් ඒ සියල්ල වැටහෙන විට මා

ප්‍රමාද වී තිබුණි. මම නිලංග අයියා

හමුවීමට නොගොස් සිටියා නම් ඒ

කිසිවක් සිදුවන්නේ නැතැයි මට

සිතුණි.



"අනේ සුදු

අයියේ මට මෙහෙම කරන්නද මාව

මේ වගේ තැනකට එක්කගෙන

ආවේ... මම දැන් කොහොමද ආපහු

ගෙදර යන්නේ.. මම කොහොමද

මගේ රත්තරන් අම්මටයි තාත්තටයි

මූණ දෙන්නේ...? අනේ දැන්නම්

මට එයාලගේ මූණ බලන්න බැහැ...

බැහැ..."




මම නිලංග අයියාගේ දෑත්

අල්ලාගෙන කඳුළු සැලීමි. එතෙක්

වේලා සුන්දරව ගලා ගිය මගේ

ජීවිතය එතැනින් එහාට කෙලෙස

ගලා යාවි දැයි මට සිතා ගැනීමට ද

නොහැකි විය. එය මසිතට මහා

බියක් එක් කළා ය. මට අම්මා හා

තාත්තා මතකයට නැඟෙද්දී ආපසු

නිවසට යාමක් ගැන සිතීම පවා

දුෂ්කර විය.



"මේ හැම

දෙයක්ම වුණේ මම ඔයාට තියෙන

ආදරේ නිසයි සුදු නංගී... ඇයි ඔයාට

මගේ ආදරේ තේරුම් ගන්න

බැරිද..? කෝ ඔය මූණ මගේ

පැත්තට හරවන්න..."




නිලංග අයියාගේ දෑත් අතර

සිරව තිබූ මගේ මුහුණ ඔහු ඔහුගේ

මුහුණ දෙසට හැරවී ය.



"අනේ ඔයා

ඔහොම අඬද්දී මට දුකයි සුදු නංගී..

ඔයා ඔහො;ම ඔයා ඔහොම

අඬන්නෙ මාව ඔයාට විශ්වාස

නැතිවද...? කියන්න.. කියන්න

මට..."




නිලංග අයියා එලෙස පවසන විට

ඔහු ගැන ද දුක සිතුණි. ඔහුගේ සිත

රිදුනා යැයි දැනුණි. එය මසිතට

බරක් විය.



"අනේ... මම

එහෙම හිතාගෙන නෑ සුදු අයියෙ...

මම ඔයාට ආදරෙයි.. ඒ ආදරේ

නිසානේ ම ඔයාව හොයාගෙන

ආවෙත්.. ඒත්.. ඒත්... මේ සිද්ධ

වුණ දේවල් මතක් වෙද්දියිමට බය

හිතෙන්නේ... අනේ මම වගේ පුංචි

කෙල්ලෙක්..."




ඊට එහා යමක් මට පවසා

ගැනීම පවා අපහසු විය. දුෂ්කර විය.



"ඔයා ඒවා ගැන මහ ලොකුවට

හිතන්න එපා.. එතකොට ඔය හිතේ

තියෙන බය ඇරිලා යාවි.. ඔයාට

මාව වගේම මට ඔයාවත් ඕන නිසා

ඕවා කවදාහරි අපි දෙන්නා අතරේ

සිද්ධ වෙන්න තියෙන දේවල්නේ.."



නිලංග අයියා එලෙසින් මගේ

හිත සනසා මාව හෝටලයෙන්

ආපසු එක්කරගෙන පැමිණ මාව

දුම්රියපොළට ඇරලවා ඔහු වෙනදා

පැමිණෙන වේලාවට පැමිණීමට

ආපසු ගියේ ය.



දුම්රියපොළේ මා‍ තනිවූ විට

මසිත යළිත් හඬන්නට වූවා ය.

පාසල් නිල ඇඳුහින් සැරසුණු

යුවතියන් නෙත ගැටෙන විට

හීල්ලුණි.



.....හැමෝම

කිව්වෙ මම මලක් වගේ ලස්සනයි

කියලා... මම තරම් අහිංසක මූණක්

තියෙන කෙල්ලෙක් මුළු මීගමුවේම

ඉස්කෝලෙක නෑ කියලයි.. අනේ

එහෙම අගය කරලා කතා කරපු මට

මොකද වුණේ..? ඒ ලස්සන මල

මේ අද... මහ දවාලේ... මීගමුවේ

හෝටලයක් ඇතුළෙදි පරවෙලා

ගියා කියලා දැන ගත්තොත් මාව

වර්ණනා කරපු අයට මම ගැන

මොනවා හිතෙයිද...? මගේ

අහිංසකකම ගැන කතා කරපු අයට

මොනවා හිතෙයිද..?

-------------------------------------------------------------


සිත රිදුණා පමණයි,
ගාමිණී වාසලසූරිය,
පිටුව 82 - 83



පසුවදන
"රාගයෙන් තොර ආදරය සඳ එළිය සේ

අචින්ත්‍ය"යැයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ,

නන්දා මාලිනිය ගැයූ ගීයක සඳහන්ව තිබුණ ද හැබෑවට

ම එය සත්‍යයක් ද ප්‍රායෝගික ලෝකයේ පවතින

ධර්මතාවක් ද යන්න අතිශය විවාද සම්පන්න ය.

තාරුණ්‍යයේ සිතිවිලි හැඟීම් පුදුමාකාර ය. තාරුණ්‍යයේ

ආදරය ඊටත් වඩා පුදුමාකාර ය. අනාගතය ගැන දහසක්

හීන හිත තුළ මෝදු වෙද්දී, විරුද්ධ ලිංගිකයන්

කෙරෙහි සිත යොමු වීම හැඟීම් දැනීම් ඇති සෑම සියලු

සත්ත්වයන් ගේ හැටි ය. එවන් අතිශය සොඳුරු කාල

පරිච්ඡේදයක #15;සය වැඩිහිටි වියේ සිටින අයවළුන් පවා

අදටත් සිතින් හෝ විඳිනවා නොඅනුමාන ය.


/>

මේ ලෝකයේ හෝටල් කාමරවල යහන්වල ළඳු

කැළෑවල අසරණ වූ සුදු නංගිලා කොතරම් ඇත් ද?

ආදරය වෙනුවෙන් තම පෙම්වතාගේ හැඟීම්

වෙනුවෙන් - එසේ ම... තම සිතේ මෝදුවන්නා වූ

හැඟුම් සැපිරීම වෙනුවෙන් ඇඳට ගිය ආදරවන්තියන්

කොතරම් ඇත් ද? සොඳුරු වූ තාරුණ්‍යයේ එක් අඳුරු

නිමේෂයක පිරිමියෙකුගේ පහස ඉදිරියේ අසරණ ව

නිද්‍රාගතව තිබූ තම හැඟුම් පිබිදෙන මොහොතකට

අදතුරුව යුවතියන් කී දාහක් සිතින් හඬන්නට ඇත් ද?

හෝටල් කාමරයෙන් එළියට බසින විට දකින සැබෑ

ලෝකය කොතරම් දුක්බර දැයි ඇයට සිතෙන්නේ

එවිට ය.



කන්‍යාභාවය යුවතියකගේ පාරිශුද්ධත්වය මනින

නිර්ණායකයක් ‍බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සාම්ප්‍රදායික සමාජයේ යුවතියකගේ හොඳකම පිළිබිඹු

වන ප්‍රධානතම නිර්ණායකය ද කන්‍යාභාවය ය. යුවතිය

තම කන්‍යාභාවය රැකිය යුතු ය යන්න සමාජයේ

මතයයි. කන්‍යාභාවය අහිමි කරගත් යුවතිය දෙස

සමාජය බලන්නේ වෛශ්‍යාවක දෙස බලන

බැල්මෙනි.



රාගය අතිශය ප්‍රවේගකාරී ය. ප්‍රචණ්ඩ ය. (නමුදු රසවත්

ය. රාගය යනු කාමය නොවේ.) ඇතැම් අවස්ථාවල දී

උහුලා ගන්නට බැරි තරම් සිත අසරණ කරන්නේ ය.

සුදු අයියලාගේ හිතේ ඇතිවන එවන් රාගය

සන්සිඳුවන්නට සිදුවන්නේ සුදු නංගිලාට ය. බැහැයි

කියා බැරි ය. තම පණමෙන් රකින ආදරය තවදුරටත්

රැකීම උදෙසා කාම ආතුර පෙම්වතාගේ සිත සතුටු කළ

යුතු ය. (ඉල්ලන් කන වෛශ්‍යා පෙම්වතියන් ද

නොසිටිනවා නොවේ.) සිතින් ඈ තීරණයක් ගත

නොහැකි අඩියක අතරමං වන්නී ය. නමුදු ඇය

දකින්නේ ඒ සංවාසයේ වැරදි පැතිකඩ නොව

ආශ්වාදජනක සොඳුරු පැතිකඩ ය. කාලයක් තිස්සේ

සිත අසරණ කළ ආශාවන්ගේ පෙළඹවීමෙන් ම ඈ

කැමැත්ත දෙන්නී ය.



කාමයෙන් ඔද්දල් වූ සිතැති පෙම්වතා තම මාකටින්

තියරි හරහා යුවතියට බ්‍රේන් වොෂ් එකක් කර හමාර ය.



අතිශය සොඳුරු ය. ස්ත්‍රී පුරුෂ සම්භෝගය සිත සතුටු

කරන්නකි. සරලව කිවහොත් "මාර ආතල්"(18+)

එකකි. ප්‍රචණ්ඩ රසිකත්වයක් ඇති පෙම්වතා තම

පෙම්වතිය සතු වටිනාම යැයි සමාජය විසින් ම අර්ථ

දක්වන කන්‍යාභාවය සොරාගෙන අවසන් ය. හඬා

පලක් නැත. නමුදු සිනාසෙන්නට බැරි ය. අම්මා

තාත්තා මල්ලී නංගී සිහිවන්නේ එවිට ය. කන්‍යාවියන්

ලෙස තවමත් සිනාසලන තමන්ගේ යෙහෙළියන්ව

මතක් වන්නේ එවිට ය. යුවතියක ලෙස යහන්ගත වූ ඈ

යහනින් බසිනුයේ ගැහැණියක ලෙස ය. බොහෝ දේ

අහිමි කරගත් පරාජිත කාන්තාවක ලෙස ය. මේ සත්‍යය

මේ යථා අර්ථය තේරු යන විට අශ්වයා පැන ගොස්

හමාර ය.



දැන් ඉතින් මෙතුවක් කල් පැටියෝ, රත්තරං, සුදූ කිය

කියා තමන්ව ගොනාට ඇන්ඳූ සුදු අයියාගේ බෙල්ලට

කඹයක් දමාගෙන හෝ පිට යන්නට නොදී ළඟින්

තියාගෙන සිටිය යුතුය.



දැන් දෙදෙනා අතර ලව් කරන කාලේ කී බබා පැටියෝ

කතා නැත. අහුමුළුවල මුකුළු කරන්නේ ද නැත. මේ

යථාර්ථය බොහෝ දෙනා තේරුම් ගන්නේද නැත.

ආශාවලට වසඟව සිත අතරමං කරගන්නේ ය. පිරිමි

බලන්නේ තමන්‍ට හමුවන - හමුවන ගැහැණිය සමඟ

බුදියා ගන්නට ය. එය ස්වභාවික සංසිද්ධියකි. තමා

හිසට තම අතමය සෙවණැල්ල යැයි කීවා සේ තම

ගෞරවය රැකගන්නට යුවතියන් දැන සිටිය යුතුය. මේ

පොර ටෝක් දෙන මා ද, ඔබ ද(ඔබත් පිරිමියෙකු නම්)

ඇතැම් විට මතු දවසක යුවතියක අසරණ කරනු ඇත.

ඇයව අනාථ කරනු ඇත. බෝධිසත්ව චරිත ලක්ෂණ

පෙන්වමින් සිටින සමාජය ඉදිරියේ පොරටෝක් දෙන

අයගෙන් විශේෂයෙන් ම ප්‍රවේශම් විය යුතුය.



සුදු නංගීට වුණෙත් ඒ ටික ය. මෙවන් අතිශය අහිංසක

සුදු නංගිලා මින් මත්තටවත් කාමාතුර‍යන්ට ගොදුරු

නොවේවා යැයි තුන් හිතින් ම පතමි.



/>

Friday, November 04, 2011

නිල් නුවන් සහ වනචරකම...


"නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී...
මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී...
සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පා වෙමින්...
හදේ දොරටු විවර කළෙමි සොඳුර නුඹෙ නමින්...

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා...
සිඹ තුටින් සිටිති සමනළ් පෙළ ගැසීලා...
කිරි කවඩි සිනාවේ... පෙළහර දකිනු රිසින් මගෙ හිත ගොළු වෙලා...

ළැම හසුන් රැඟුම් පා මනමත් කළාදෝ...
රත තොලින් තොලට දී සෙනෙහස රකීදෝ...
සිත සතුට ගෙනාවේ... ඔබම ය
මගේ සිතත් ඔබ ළඟ නැවතිලා...

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී...
මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී...
සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පා වෙමින්...
හදේ දොරටු විවර කළෙමි සොඳුර නුඹෙ නමින්..."


   ගීත විචාරය අතිශය ළ ගන්නා සුළු වූත්, භාරධූර වූත් කාර්යයකි. සෞන්දර්ය කටයුත්තකි. නමුදු රසවත් ය. සිතන්නට බොහෝ දේ ඉතිරි කරන්නේ ය.

කතා නායකයා පෙම්වතෙකි. තාරුණ්‍යයේ හැඟීම්, ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, හොඳින් කැටි වූ හදවතක හිමිකාරයෙකි. මාර්කටින් තියරි මත පදනම් ව, නිර්මල ආදරය සොඳුරු ලෙස මාර්කට් කරන අග්‍රගණ්‍යය අලෙවිකරුවෙකි. ඔහු තම ආදරවන්තිය ව කැටුව ආදරය කරන්නට - ලව් කරන්නට - අඳුර ගලා එන රාත්‍රියක ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ බිම්කඩක් තෝරා ගන්නේ ය.

මේ අතිශය සොඳුරු ශාරීරික ගනුදෙනුවේ ඇරඹුම සම්බන්ධයෙන් පහුරු ගා සොයන්නට කිසිත් නැත. කිසිදාක විරුද්ධ ලිංගිකයෙකුගේ සියුම් පහසක්වත් නොලද ස්ත්‍රියක සහ පුරුෂයෙකුගේ කුළුඳුල් ළංවීම තුළ ලජ්ජාව බිය සහ නිර්මල ආදරය නම් වූ මහා පවුරෙන් බඳින ලද සීමා මායිම් ප්‍රතිරෝධයක් එල්ල කරයි.

නමුදු මෙතුවක් කල් සිතේ නිද්‍රාගතව තිබූ හැඟීම්ව පිබිදීම ප්‍රේමවන්තයා සැහැසි රසිකත්වයක් කරා ගෙන යාමට උත්තේජකයක් වන්නා සේ ම ගැහැණිය තම සතුට පිරිමියාගෙන් ලැබීම උදෙසා උපරිම 'දීමකට'(18+) නිස්සරනධ්‍යාසයෙන්ම පොළඹවනු ලබයි.

ලිංගික උත්තේජනය අක්‍රමවත් ව සෞන්දර්යාත්මක ව කෙරෙන නිමේෂයක ඈ අසරණ වන්නී ය. (නමුදු She is moaning. )

මේ ගීතය පුරා දිව යන ලිංගිකමය කාරණය වඩාත් ප්‍රත්‍යක්ෂ වන්නේ ස්ත්‍රියගේ අඟපසඟ සම්බන්ධයෙන් ප්‍රේමවන්ත රචකයා කරන්නා‍ වූ හෙළිදරව්වෙනි. ළැම හසුන් යැයි සාහිතමය භාෂාවෙන් කුළුගැන්වෙන ස්ත්‍රියගේ පියයුරුවල පහස පිරිමියා ලබන ආකාරය වූ කලී අතිශය ආශක්ත සිද්ධියකි. එකී උපමාව අපට
හමුවන්නේ රාහුල හිමියන්ගේ සංදේශ කාව්‍යයක් තුළිනි. ඒ වචන හරඹය තුළ ප්‍රේමවන්තිය සතුව පවතින සුන්දර සත්වයෙකු හෙතෙම තම සිතින් දකී.

රාගයෙන් ඔද වැඩුණු සිත් සොයන්නා වූ පළමු චුම්භනය අතිශය සො‍ඳුරු කාරණයකි.

"රත තොලින් තොලට දී සෙනෙහස..."

නිර්මල ආදරය නියමාකාරයෙන් තම සිතැඟි සපුරා ගැනීම වෙනුවෙන් මාර්කට් කළ ප්‍රේමවන්තයා සිය සතුට වෙනුවෙන් තම ප්‍රේමවන්තියට ස්තූති පූර්වක වන්නේ ය. තමන් විසින් ඇයට අහිමි කළ ඈ සතු උතුම්ම වස්තුව වන පාරිශුද්ධත්වය ගැන තම ප්‍රේමවන්තිය දුක්වන්නට පසුතැවෙන්නට පෙර ඔහු තම සිත ඇය ළඟම තවමත් තිබෙන බැව් තමා ඇයව අතහැර නොයන බැව් පශ්චාත් සංසර්ග මානසිකත්වයේ සිට අකැමැත්තෙන් හෝ කියා සිටී. සුභාවිත ගීත ගොන්නට එකතු වන එඩ්වඩ්ගේ මේ ගී කුසුම වඩාත් සුගන්ධවත් වන්නේ කාගෙත් සිතට සුව දෙන සිහි කිරීමට සැම දෙනාම කැමැති සංසර්ගමය කාරණයක් ගීතය පුරා දිව යන බැවිනැයි මට සිතෙයි...



Free Radio Promo :
Kurumanama on Singha FM - Every weekdays 6.30pm. 107.9 Colombo, 100.7 DownSouth, 104.8 North Central/ East, 104.4 Kandy.

Sunday, October 30, 2011

අසම්මත පෙම් කවිය...


ඔහු මගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල හැංගිලා

තිබුණෙ එක ම එක ආයාචනයක්...
සමාජයේ නොයෙක් විදිහේ අසාධාරණකම්වලට...

කෙණෙහෙලිකම් වලට ලක් ‍වුණු ඔහු අද පළමු

වතාවට මගෙ දෙපා මුල ඉඳගෙන ආයාචනා කරනවා...

ආරාධනා කරනවා... ආදරය විඳින්න... උණුහුම

විඳින්න ඒ හිතේ තියෙන ආශාව මට නොතේරෙනවා

නෙවෙයි.. මහා ගලක් වගේ හිතක් තිබුණු මට ඒ

ඇස්වල ආයාචනාත්මක බැල්ම නිසා තවත් ඒ ගල් හිත

එහෙම ම තියාගෙන ඉන්න බැරි වුණා.

"ඇයි මට මේ තරම් දුක් දෙන්නෙ

දෙයියනේ...???"


ඔහුගේ නග්න වූ උඩුකය දිහා බලාගෙන අනිමිස

ලෝචන පූජාවක් කරන්න තරම් හිතුණා. ඒ ඇස්

දෙක... ඒ මූණ... - රැවුල කපලත් නැහැ වගේ...- මවිල්

පිරුණු පපුව... මගේ හදවත මොහොතකට සසල

කළා. මට ම නොතේරෙන හැඟීම් පොකුරක් හිත

ඇතුළේ පොට්ටනියෙන් එළියට පැනලා ඇවිත් ශරීරෙ

ඇතුළෙ අමුතු විප්ලවයක් කරනවා.


ඔහු ඈත අඹ ගහක් දිහා බලාගෙන උන්නෙ... එයා

අහපු ප්‍රශ්න වලට පිළිතුර ලැබෙනකල් ඔහු බලා

ඉන්නවා... හීන දකිනවා... ඒ උණුහුම... ආදරය

ගැන...


... එයාගෙ ප්‍රශ්නෙට මං දෙන්නෙ මොන උත්තරේ ද?

ආදරය... ජීවිතය... දෙයියනේ..--- මේ හැම දෙයක් ම

ප්‍රශ්න පත්තරයක් වගේ... හරියට උසස් පෙළ

එකවුන්ට්ස් පේපර් එක වගේ... නෑ නෑ... කැම්පස්

එකේ පේපර් එකක් වගේ... අනේ මන්දා... මගේ හිත

දුරක ගියා.


ඔහු මාරුවෙන් මාරුවට මගේ දිහා ආසාවෙන් ගිනි

ගන්න ඇස්වලින් බලනවා... ඒ ඇස් හරි අහිංසකයි බං...

මගෙ හිත එහෙම කිව්වා... බම්බුව...

""මං ආදරෙයි..."" ඒ ඇස්වල

එහෙම දෙයක් ලියවිලා තියෙන්න ඇති. මට එහෙම

හිතුණා. ජීවිතයේ පළමුවෙනි වතාවට අසම්මත

ප්‍රේමයක් වෙනුවෙන් මං දුකක් විඳිනවා

දෙයියනේ...


.... මහා සුළිසුළඟක් ඇවිත් බෝඩිම ගහගෙන ගියා

නම්...
ඔව්... ඒකත් එකක් බං...මං හිතට කිව්වා...


ඒ අතීතය මට ආයෙමත් සිහි වෙනවා... අපි හමුවුණු

හැටි... කතා කරපු හැටි... තිත්ත කුණුහරුපෙන්

බැණගත්ත හැටි...
ඒ හැම දෙයක් ම මේ පුංචි බෝඩිං කාමරේට හුරු

පුරුදුයි. මේ ඇඳ සාක්ෂි දරාවි. මේ මහ පොළොවට

මාවත් ඔහුවත් පුරුදුයි. මේ බිත්තිවලට අපේ කතා බහ

පුරුදුයි. ඒත්... මට මහා නුපුරුදුකමක් දැනෙනවා...

නුපුරුදු ඇසුරක් ගැන ලොකු බයක් හිත ඇතුළේ

තියෙනවා...


ඒත් පළමු වතාවට ඔහු මගෙන් සිඟමන් යදිනවා. හැම

‍මොහොතක ම සමාජයේ ලොකු ලොක්කන්ගෙ පයට

පෑඟි පෑඟි අනේකවිධ දුක් විඳින ඔහු... ඔව් ඔහු...

එතකොට මම කවුද?...
මගෙ හිත මගෙන් දිග කතාවක් ගැන අහන්න

හදනකොට ම ළඟපාත පල්ලියේ ඝාණ්ඨාරේ

සද්දෙ.


දිල්කි අද මං එනකං මඟ බලන් ඇති... පව් කෙල්ල...

මට එකපාරට ම මතක් වුණේ ඇය‍ව. මං ඇස් ඇරලා

බැලුවා. කසුන් උන්නෙ කාමරේ මේසයට බර දීලා. පව්

කියලත් හිතෙනව මේ මෝඩ මැටි පැටියා ගැන.

ඒත්....


"ඇයි ඒත්...??? What's the

problem yaar???"
මගෙ හිත සමච්චලේට

ඇහුවා... රෙද්ද...

ඒත්... මොකක්ද මේ ඒත්... ආහ්!!! මතක් වුණා... - අර

ටී.වී. එකේ විදෙස් පුවත් කියන අක්කා කියන්නෙ ...

ඒත් සමඟින් විදෙස් පුවත් නිමාවට පත් වෙනවා...

සම්බන්ධතාවය ප්‍රවෘත්ති මැදිරියට කියලා... - ඒත් මේ

ඒත් එක ඒ ඒත් එක නෙවෙයි...


මම එහෙම ම ඉස්සිලා ඇද වියලට ඔළුව තියාගත්තා...
ඔහු කතා නෑ... කතාකරන්න දෙයක් නෑ...

....මගේ ජීවිතේ වටිනාම දේ මං කොහොම දන්

දෙන්නද රත්තරං.... ඔහු ළඟ දණින් වැටිලා එහෙම අහ

අහා අඬන්න තරම් මට හිතුණා...මට හොඳට ම

උවමනාව තිබුණා.


"අම්මෝ... මකුණොත් කනවා ඒ

මදිවට මුංට මං ඉන්න තත්වෙ තේරෙන්නෙ නෑනෙ...

මව් ප්‍රජනකයෝ... හෙණ ගහපිය..."


....තරහට කියවුණාට සොරි මචං... මං මකුණෙක්ගෙන්

සමාව ඉල්ලුවා. මගෙ අතට අහුවෙච්ච ඌ "It's ok..." කියන්නා වගේ අඬුබඬු

විහිදුවලා දැඟලුවා.


"අරුණ මල්ලී බත් බෙදුවා... කන්න

දැන් ම එනවද..."
අපිටවත් නොකියා දොර

ඇරගෙන ආපු සුදර්ශි අක්කා එහෙම කිව්වෙ මට.

එයාගෙ බ්ලවුස් එකේ උඩ බොත්තං රස්නෙ හින්දා

වෙන්න ඇති ගැලවිලා ද කොහෙද...


"මං යනවා
කෙල්ලේ..."


ආශ්වාදයේ උපරිමටම ගිහින් හැමදාම සුදා අක්කට

වැඩිපුරත් එක්ක සල්ලි දීලා යන හන්දියෙ සෝමදාස

මුදලාලි එහෙම කියාගෙන මිඳුලට බැහැලා ගියා.


"අපි එන්නම් අක්කේ..."

එහෙම කියපු මං බැලුවෙ කසුන් දිහා...
"අයිම් ෂොරි..."

"සමාව දීම අතුරුපසට...."



Free Radio Promo :
Day Hits - Every weekdays 7pm on Singha FM 107.9 Colombo, 100.7 DownSouth, 104.8 North Central/ East, 104.4 Kandy, 102.9 Islandwide.